බහිර පූජාව

බහිරව පූජාවක් තම නිවාස වල පැවැත්වීමට පුරාණයේ සිට අප රටේ ජනයා පුරුදු වී සිටියි. මෙම බහිරව පූජාව හරියාකාරව ලබා දී බහිරව දේවතාවුන් සතුටු කිරීම හරියාකාරව සිදුකළ යුතු මහත් ගුණ දෙන ශාන්ති කර්මයකි.

බහිරව දේවතාවුන් යනුවෙන් හඳුන්වන්නේ භූමිය පාලනයට ගෙන භූමියට අධිපතිත්වය දරමින් වෙසෙනා දේවතාවුන් කොට්ඨාශයකි. දිසා අටට හා පොළොවෙන් උඩට (ආතාල)පොළොවෙන් යටට (පාතාල) බහිරව දෙවියන්ගේ අණසකට යටත් වේ. භූමියේ වෙසෙන මනුෂ්‍ය හා නිවාස සතා සිවුපාවන් පවා මෙම බහිරව දෙවියන්ට යටත්ය. බහිරව දේවතාවුන්ට මෙම භූමි සීමාවල් වලට යටත්ව සිටීමට වරයන් ලබා දී ඇත්තේ මහ දෙවියන් වන ශිව දෙවියන්ය.ඊශ්වර දෙවියන්ගෙන් වරම් ලබා ඇති නිසාත් සියලුම දෙවියන් ඊශ්වර දෙවියන්ට යටහත් නිසාත් බහිරව පූජාවක් තම භූමියේ ලබා දෙන විට අනිවාර්යයෙන්ම බුදුන්ට මුල් තැන දී ඊශ්වර දෙවියන්ට සහ ගම් කොරටු භාරව වරම් ලබා ඇති ගම්බාර දෙවියන්ටද පුද පූජා පවත්වා කන්නලව් කොට දේව ආශිර්වාදය ලබාගත යුතුය.

නිවැරදි ලෙස පුද ලබාදීම හරියාකාරව බහිරව පූජාව භූමියේ තැබුවහොත් එම භූමිය මෙන්ම භූමියේ වෙසෙන මනුස්ස හා සත්ව කොට්ඨාස ගහකොළ වලට පවා වෙනසක් ඇතිවනු ඇත. බහිරව දේවතාවුන් සතුටුකර පුද පූජා දීමෙන් සියලුම දෙවියන්ගේ ප්‍රියතාවයට ද ඔබලක්වේ. එමෙන්ම පුද පූජා හරියාකාරව නොදුන් විට දේව කෝප වලටද ලක්වීමට ඉඩ ඇත. බහිරවයින් පුද දී සතුටු කරනවා මිසක් එලවීම බැඳීම යනාදිය සිදුකරන්නට යෑමෙන් නිවැසියන් බොහෝම කරදර වලට ලක්වීමටද දේව සාප වලට ලක්වීමටද ඉඩ ඇත.

බහිරව පූජාවක් තම භූමියේ දෙනු ලබන ප්‍රධාන අවස්ථා තුනක් පවතී. එනම් අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර භූමියේ බහිරව පූජාවක් ලබාදෙයි. බහිරව දෙවියන්ගේ අණසක ඇති භූමියක අප ජීවත්වීම සඳහා නිවසක් ඉදි කරනවා නම් එම බහිරව දේවතාවුන් වහන්සේලාගෙන් අවසර ගෙන භූමියට සෞභාග්‍යය ලබා ගැනීමට දේවතාවුන් වහන්සේලාට පුද දී ඉල්ලිය යුතුය. එවිට ගැටළු නොමැතිව නිවස ඉක්මනින් සාදාගෙන පදිංචියට යා හැකිය.
එසේම ජීවත්ව සිටින භූමියක යම් යම් ප්‍රශ්න ගැටලු මතුවන අවස්ථාවන්වලදී බහිරව පූජාවක් ලබාදෙයි. තම නිවසේ මුදල් රැඳීම අඩු බවක් ඇත්නම් එමෙන්ම නිවසේ වෙසෙන පුද්ගලයන් නිතර නිතර රෝග වලට ගොදුරු වේ නම් යටි පතුල්වල සිට උඩට යන වේදනාවක් ඇත්නම් ශරීරය බර ගතියකින් යුක්ත නම් එම නිවසේ බහිරව දෝෂ තත්ත්වයක් පෙන්නුම් කරයි. එවිට බහිරව පූජාවක් නිවසේ දීමෙන් එම තත්ත්වයන් වළක්වා ගත හැක.

එමෙන්ම පතල් කර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටින පුද්ගලයින් අලුතෙන් භූමියක පතල් ගැරීමට පෙර බහිරව පූජාවක් ලබාදීමට පුරුදු පුහුණුවී සිටී. එමගින් තම අධිෂ්ඨානයන් මුදුන්පත් කරගැනීමට හැකි අතර භූමියෙන් නිසි ඵල ලබාගත හැකි වේ.

විවිධ පාරම්පරික ක්‍රමවල හා විවිධ ගුරුකුලවල බහිරව පූජාව ලබාදෙන ඔවුන්ට ආවේණික ක්‍රම පවතී. තෙරුවන් සරණ යමින් ඊශ්වර දෙවියන්ට යහන් සාදා භූමිභාර දේවතාවුන් වහන්සේලාට සහ දස බහිරව දේවතාවුන් වහන්සේලාට යහන් කැපකිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. අනතුරුව භූමිආරක්ෂාවක් දැමිය යුතුය සෑදූ නිවසක් නම් නිවැසියන්ටද ආරක්ෂාවක් දැමිය යුතුය.

භූමියට හා නිවසට ශ්‍රියාව සහ සෞභාග්‍ය වඩවන මහඟු ගුණ දෙන බහිරව පූජාව හරියාකාරව ලබාදී ඔබේ දිවිය සෞභාග්‍යමත් කරගන්න. ඔබට තෙරුවන් සරණයි.

පාරම්පරික ජෝතිර්වේදී, දේශමාන්‍ය අනූෂා කෝදාගොඩ